අපි මොකද්ද මේ කරන්න යන්නෙ...
දැක්ම සහ අරමුණ සපථ කිරීම :-
දේශයක ජාතියක ප්‍රගමනය, සංවර්ධනය උදෙසා තබනු ලබන ප්‍රථම පියවර වනුයේ එම රට වැසියන්ගේ චිත්ත සන්තානයේ, සිතුම් පැතුම් සමුදායේ ඇතිවන්නා වූ සුභවාදී පරිවර්තනයයි. පැහැබර හෙට දවසකට සොදුරු සිහිනයන් මවනා අප ඒ සිහිනයන් ඉටු වන්නට තැබිය යුතු ප්‍රථම පියවර වනුයේ අපේ ආදරණීය මතු පරපුර මානව භක්තිය, මානව දයාව පිරි මිනිසත් කමේ ගුණ සුවඳ හදුනනා, මම් කිරි උනුහුමට, මවු බිමේ පිදෙනා රන්වන් නෑඹුල් ගොයමක සුවදට ආදරය කරන, අවංක, සංවේදී, කරුණාවන්ත, යහපත් මිනිසුන් කිරීමයි. ඔවුන්ගේ හදවත් තුල මේ පරිවර්තනය කළ හැකි වඩාත් ප්‍රායෝගීතම මග සාහිත්‍යයේ ගුණ සුවද වෙත ඔවුන් ළගා කිරීමයි.
පොත් පත් තුළින් අප හමුවට ආ ඒබ්‍රහම් ලින්කන්ලා, දුෂ්ශේයින්ලා, මහත්මා ගාන්ධිලා අපේ ජිවිත වලට ලබා දුන් අරුත ඔවුන්ට ද වටහා දිය යුතුය. දැනුම පුපුරා යන තාක්ෂණික ලෝකයක, ඒ දැනුමෙන් මිනිසුන් හුදෙකලා කෙරුණු කුරිරු යුද්ධයක අපමණ සාහසිකකම්වලින් ඉරිතැලූණු මේ ලක් දෙරණේ අපේම සහෝදරයන්ගේ ජීවිතවලට සාහිත්‍යයේ අරුණැල්ල ලඟා කරමින් පුළුල්වූත්, නිරවුල්වූත් විචාර බුද්ධියකින් ලෝකය දකිමින්, ශක්තිමත් මිනිසුන් ලෙස මේ බිමේ මුල් විහිදුවමින් වැඩි හෙට දින බිමම සුවදවත් කර සුපෝෂණය කරනා වනස්පතීන් වන්නට ඉඩ හසර ලබා දීම ව්‍යාපෘතියේ අරමුණයි.මෙහෙවර :-යුද්ධයෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ උතුරු මැද, උතුර සහ නැගෙනහිර තෝරා ගත් දුෂ්කර පාසල්වල දැනට ඌන සංවර්ධිත පුස්තකාල සංවර්ධනයක්, නව පුස්තකාල ආරම්භ කිරීමේ ශඛ්‍යතාව සහිත පාසල්වලට ඒ සදහා පොත් ලබා දීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථ වේ.
ව්‍යාපෘතියේ සැකැස්ම :-පළමු අදියර :
පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමේ සහ අන්තර්ජාලය හරහා පොත් එක් රැස් කිරීම.මේ සදහා මූලික සහය පාසල්වල අදාල සංගම් වලින් ලබා ගනු ඇත. අත් පත්‍රීකා, පෝසටර්, මෙන්ම කෙටි දැන්වීම් ද මේ සදහා භාවිතා කරනු ඇත
දෙවන අදියර :
සාමාන්‍ය ජනතාව අතර ව්‍යාපෘතිය පිළිබඳ පණිවිඩය ගෙන යාම.මෙහි දී මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරනු ඇත. ඒ වනවිට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා මගින් දැනුවත් කිරීම් කෙරෙනු ඇත.සමාජයේ පිළිගත් පුද්ගලයින්, පොත් ප්‍රකාශකයින් සහ ආයතන ව්‍යාපෘතිය සදහා එක් කර ගැනීමටත් උත්සුක වනු ඇත.
තෙවන අදියර :
සාමාන්‍ය ජනතාවගෙන් සහ විවිධ ආයතනවලින් පොත් ලබා ගැනීම.රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලින් සහ මෙහිදී පොත් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.
අවසාන අදියර :
පොත් ශිෂ්‍යයන් අතට ලබා දීම,ඔවුන් කියවීමට අභිප්‍රේරණය.ගුරුවරුන්ට පුස්තකාල කළමනාකරණය සදහා පුහුණු කිරීම.පාසල් තෝරා ගැන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් කලාප අධ්‍යාපන කාර්යාල හරහා සිදු කෙරෙනු ඇත. එහිදී අවම පහසුකම් යටතේ පුස්තකාල පවත්වාගෙන යනු ලබන හෝ පුස්තකාලයක් ආරම්භ කර පලදායීව බවත්වා ගෙන යාමේ විභවයක් සහිත පාසල් වලට ප්‍රමුඛතාවය දෙනු ඇත. 2011 සැප්තැම්බර් මාසයෙන් ව්‍යාපෘතිය අවසන් කැරෙනු ඇත.තවත් විස්තර - මෙතැනින්
අදහස් හා යෝජනා - wenod.pathirana@hotmail.com
සෙනහසේ අරුණැල්ල - හෙට වෙනුවෙන් පොතක් දෙන්න.